Kadawara Yahana - වල්ලි මාතා දෙවඟන

වල්ලි මාතා දෙවඟන

 

කතරගම දෙවියන්ගේ බිරිඳන් දෙදෙනගෙන් ප්‍රධාන බිරිඳ වන වල්ලි මාතා හෙවත්"වල්ලි අම්මාද, දෙවඟනකි.වල්ලි මාතාවගේ උපත ගැන හා කතරගම දෙවියන් හා විවාහ වීම ගැන ගණ දෙවියන් හා කතරගම දෙවිවරුන්ගේ කතා පුවත් වලදී දැනගන්නට ලැබේ.

වල්ලි මාතාව නැති නම් වල්ලි අම්මා හඳුන්වනුයේ කුවේණියගේ අක්ක වශයෙනි.තවත් ජනප්‍රවාදයකට අනුව ඇය ඕපපාතික දියණියක් බවට පැවසේ.
කෙසේ නමුත් වල්ලි අම්මා හා කඳ කුමරුන් ගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳව විවිධ රසවත් කතාපුවත් අසන්නට ලැබේ.

නාරද නම් සෘෂි වරයකු ලෝකය වටා ගමන් කරද්දී  හුදෙකලාව සතුන් සමඟ කෙළි දෙලෙන් විනෝදයෙන් පසුවුණු රූමත් වල්ලි අම්මව දැක භාරතයට ගිය සැනින් ඇය ගැන කඳ කුමරුවන්ට කියා සිටියේය.ඇය ගේ රූප ස්වභාවය පිළිබඳ අසන්නට වූ සැනින් වල්ලිව තමාගේ බිරිඳ කර ගැනීමට ආසාවක් පහල විය.කඳ කුමරුන් වහා සෙල්ල කතරගමට පැමිණ මහලූ වෙසක් මවාගෙන වල්ලි සිටි ගුහාව වෙත පැමිණ කුසගින්න නිසා කෑමට යමක් ඉල්ලා  සිටියේය.ඇය ඔහුට කෑමට යමක් දී ගුහාවේ වතුර නොතිබුන නිසා මැණික් ගඟ වෙත ගොස් වතුර බොන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියේය.

තමා ගඟට යන පාර නොදන්නා බවත් ඇයට පැමිණ ගඟ පෙන්වන ලෙසටත් ඉල්ලා සිටියේය.කාරුණික ඇය ඔහු සමඟ ගඟ වෙතට යෑමට පිටත් විය.මඳ දුරක් යන විට මහල්ලා වල්ලියට විවාහ යෝජනාවත් ගෙනාවේය.එය ඇසීමෙන් කෝපයට පත් වල්ලි මහල්ලාට බැන වැද ආපසු හැරී යන්නට පිටත්විය.ඇය අඩි දෙක තුනක් හෝ ඉදිරියට යාමට නොහැකි විය.එසැනින් සද්දන්ත හස්තියෙක් වනය දෙවනත් කරමින් ඇය ඉදිරියට දිව එන්නට විය.දැඩි ලෙස බියපත් වල්ලි ආපසු හැරී දිවගොස් මහල්ලාගේ ඇගේ එල්ලී තමාව ගලවාගන්නා ලෙස ඉල්ලා සිටියේය.එවිට කුමරු තාමා සමඟ විවාහ වන බවට පොරොන්දු වුනොත් බේරා ගන්න බව කීය.කුමරුගේ කූට උපාය නොදත් ඇය ඊට පොරොන්දු විය.කුමරුගේ සංඥාවක් අනුව හස්තියා ආපසු වනයට ගියේ ය.

ඇතාගිය පසු මහල්ලා ඇය බලා සිටියදීම රූමත් ප්‍රතාපවත් තරුණයෙක් බවට පත්විය.විශ්මයට හා ලැජ්ජාවට පත් වල්ලී කුමරුගෙන් සමාව අයැද සිටියේය.මේ සිටින්නේ බලවත් පුරුෂයෙකු බව ඇය වටහා ගත්තේය.මිනිසත් බවක් ලද වල්ලි තම බලගතු සැමියා සරණ යෑම නිසා දේවත්වයට පත් විය.

කඳ කුමරු පසුව දඹදිව සිටි තමාගේ ප්‍රථම භාර්ය්‍යා ව වන තේවානි අම්මාද ගෙන්වා ගත් අතර මෙම බිරින්දෑවරු දෙදෙනාම ඉතාමත් සමගියෙන් කාලය ගත කරබව සඳහන් වේ.තේවානි අම්මාද දේවත්වයට පත්විය.අගේ දේවාලය කතරගම මහා දේවලයේ තාප්පයට පිටතින් දක්නට ලැබෙන අතර,වල්ලි අම්මාගේ දේවාලය කතරගම දෙවියන්ගේ දේවාලය ඉදිරිපසින් එයටම මුහුණලා පිහිටා තිබෙනු දක්නට ලැබේ.මෙමෙ දේවාලය  සමීපයේ සියඹලා ගසක් පිහිටා තිබෙනු ඔබ දැක ඇත.වල්ලි අම්මා වාස භවනය කර ගෙන ඇත්තේ මෙම ගස් බෙනය බව ජනප්‍රවාදයේ සඳහන් වේ.